බ්‍රිතාන්‍ය ගුවන් සමාගම (British Airways) එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමඟ යළිත් සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව 2026 ඔක්තෝබර් 23 වනදා සිට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ගැට්වික් (Gatwick) ගුවන්තොටුපොළේ සිට මෙරට බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වීමට නියමිතය.
සතියකට තුන් වතාවක් ලන්ඩන් සහ කොළඹ අතර මෙම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම ගුවන් ගමන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ඊයේ (17) සිටම ආරම්භ කර ඇති බව එම ගුවන් සමාගම පවසයි.
දැනට ශ්‍රී ලංකාවේ සිට ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමයි. බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ මෙම නව සම්ප්‍රාප්තියත් සමඟ දෙරට අතර සංචාරක කටයුතු සහ වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම ශීත සෘතුවේදී මෙරටට පැමිණෙන යුරෝපීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ පවතින තරඟකාරීත්වය හමුවේ මගීන්ට වැඩි පහසුවක් සැලසීමට මෙම තීරණය ඉවහල් වනු ඇත.














