සැටලයිට් දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ තාක්ෂණික හැකියාව ශ්‍රී ලංකාව තුළ නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග ඒස්. බෝදරගම මහතා අද (18) පෙන්වා දුන්නේ, මෙම බරපතල තාක්ෂණික හිඩැස හේතුවෙන් මහා පරිමාණ අපරාධකරුවන් නීතියෙන් ගැලවී යාමේ අවදානමක් පවතින බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ නඩු 35කට අධික ප්‍රමාණයක් කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. අදාළ නඩුවල ප්‍රධාන සාක්ෂි ලෙස සැටලයිට් දුරකථන ඉදිරිපත් කර තිබුණද, ඒවායේ දත්ත විශ්ලේෂණය කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සිය අප්‍රසාදය පළ කළේය.
විමර්ශන නිලධාරීන් ලෙස මෙම පහසුකම් මෙරට නොමැති බව වහාම ඉහළ බලධාරීන් දැනුවත් කිරීම පොලිසියේ වගකීමක් බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. රජයේ රස පරීක්ෂකවරයා අවස්ථා කිහිපයකදීම මෙම දුර්වලතාව පෙන්වා දී තිබුණද, එම අඩුපාඩුව මගහැරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙතෙක් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී නොමැත.
සැටලයිට් දුරකථන දත්ත වැනි තීරණාත්මක සාක්ෂි විශ්ලේෂණය කිරීමට නොහැකි වුවහොත් නඩු දුර්වල වී ජාවාරම්කරුවන්ට නිදහස් වීමට මග පෑදෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, වහාම මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරවන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝග කළේය.














