බණ්ඩාරගම, ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි විශාල පුරන් කුඹුරු යායක ඊයේ (17) රාත්‍රියේ දරුණු ගින්නක් හටගෙන ඇති බව බණ්ඩාරගම පොලිසිය වාර්තා කරයි. අක්කර ගණනාවක භූමි ප්‍රමාණයක් පුරා මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ.
සිද්ධිය සැලවූ වහාම කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයට අයත් රථ දෙකක් සහ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියද, ගින්න හටගෙන තිබූ ස්ථානයට ළඟා වීමට ප්‍රවේශ මාර්ග නොමැති වීම හේතුවෙන් දැඩි බාධා එල්ල වී ඇත.
ගින්න කුඹුරු යාය මැද පැතිර යන බැවින් එය මැඩපැවැත්වීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවද, අවට පිහිටි නිවාස කරා ගින්න පැතිරීමේ අවදානම සලකා ගිනි නිවන නිලධාරීන් සහ පොලිසිය එම ස්ථානයේ සීරුවෙන් රැඳී සිටින බව වාර්තා වේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ගින්න පාලනය කිරීම අසීරු වී ඇති අතර, ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රී කාලයේ පැතිර ගිය මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුම් පටලයක් ද පැතිර ගිය බවයි.














