සෑම සතියකම බදාදා දිනය රජයේ සහ පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, පාසල් වෑන් රථ ගාස්තු සියයට දහයකින් (10%) වැඩි කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය නිවේදනය කරයි.
එම සංගමයේ සභාපති ඊ.එච්. රුවන් ප්‍රසාද් මහතා සඳහන් කළේ බදාදා දින පාසල් නිවාඩු ලබාදීම හේතුවෙන් තමන්ට විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවයි. රජය ගත් මෙම තීරණය හේතුවෙන් පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ දෙමාපියන්ට ද යම් අස්වැසිල්ලක් හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ තම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 100 දක්වා ඉහළ නංවන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. එසේම රජයේ පාසල්වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම නිවාඩු දිනය එකසේ බලපැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහසයි.
මෙම තීරණයත් සමඟ පාසල් ප්‍රවාහන සේවයේ නියුතු පිරිස් පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීමේදී රජයට සිය සහයෝගය පළ කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.














