නයිජීරියාවේ ඊසානදිග මයිදුගුරි (Maiduguri) නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (17) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. රමසාන් උපවාසය අත්හරින අවස්ථාවේදී නගරයේ තැපැල් කාර්යාලය, වෙළෙඳපොළ ප්‍රදේශ සහ රෝහල් පිවිසුමක් ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
බෝර්නෝ ප්‍රාන්තයේ අගනුවර වන මයිදුගුරි නගරය වසර කිහිපයක සිට සාමකාමී වාතාවරණයක පැවති අතර, මෙම හදිසි ප්‍රහාරයත් සමඟ නගරයේ ආරක්ෂාව දැඩි කර ඇත. නයිජීරියානු බලධාරීන් සැක කරන්නේ මෙය “බොකෝ හරාම්” (Boko Haram) ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද ප්‍රහාරයක් බවයි. මීට වසර දහයකට පෙර ද මෙවැනිම දරුණු ප්‍රහාරයකින් පුද්ගලයින් 58 දෙනෙකු මියගිය අතර, එම බියකරු මතකයන් මෙම ප්‍රහාරයත් සමඟ යළි අවදි වී තිබේ.
නයිජීරියානු ජනාධිපති බෝලා ටිනුබු (Bola Tinubu) මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට වහාම මයිදුගුරි වෙත ගොස් තත්ත්වය පාලනය කරන ලෙස නියෝග කර ඇත. ත්‍රස්තවාදීන් ජනාකීර්ණ පොදු ස්ථාන ඉලක්ක කර ඇත්තේ මහජනතාව අතර භීතිය ඇති කිරීමට බව හමුදා ප්‍රකාශක සානි උබා (Sani Uba) සඳහන් කළේය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ බිය පළ කරයි.














