ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ 6 ශ්‍රේණිය සඳහා වන ප්‍රතිසංස්කරණ 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේදී අනාවරණය විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාර්තු 17 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ මෙම කමිටුවේදී, දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
2026 වසරේදී පළමු ශ්‍රේණියෙන් ආරම්භ කළ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනට පවතින ආකාරය පිළිබඳව දැඩි අධීක්ෂණයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාර සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි. විශේෂයෙන්ම, දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව සිසුන් වෙත ලබා දීමට සැලසුම් කර තිබේ.
නව ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීම සහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 6 ශ්‍රේණියට අදාළ සියලුම ඉගෙනුම් මොඩියුලයන් විශේෂ කමිටු මඟින් ගැඹුරින් නැවත සලකා බලමින් පවතින බව නිලධාරීන් මෙහිදී අවධාරණය කළහ. ශිෂ්‍ය ඇගයීම් සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිර්දේශ ලබා ගැනීම සඳහා විදේශීය සම්පත්දායකයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කර ඇති අතර ඔවුන් ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙම වෙනස්කම් විධිමත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත. මීට අමතරව, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් ද මෙහෙයුම් කමිටු පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මෙහිදී අනාවරණය විය. මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශවල උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














