ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ රුසියානු බොරතෙල් රැගත් ‘Aqua Titan’ (Aframax) නෞකාව චීනය බලා යමින් සිටියදී හදිසියේම සිය ගමන් මග වෙනස් කර ඉන්දියාවේ නව මංගලෝර් (New Mangalore) වරාය බලා පැමිණෙමින් තිබේ.
පසුගිය ජනවාරි මාසයේදී රුසියාවේ බෝල්ටික් මුහුදු වරායකින් ‘Urals’ වර්ගයේ බොරතෙල් පටවාගෙන චීනයේ රිෂාඕ (Rizhao) වරාය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව, මාර්තු මැද භාගයේදී ගිනිකොනදිග ආසියානු මුහුදේදී හදිසියේම සිය ගමන් මග වෙනස් කර ඇත. එය ලබන මාර්තු 21 වැනිදා ඉන්දියාවට ළඟා වීමට නියමිතය
ඉරානය සහ ඇමෙරිකාව (සහ ඉශ්‍රායලය) අතර පවතින යුදමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ඇතිවූ තෙල් හිඟයට පිළියමක් ලෙස, රුසියානු තෙල් වැඩිපුර මිලදී ගැනීමට ඇමෙරිකානු රජය විසින් ඉන්දියාවට තාවකාලික අවසරයක් (Waiver) ලබා දී ඇත. ඒ අනුව ඉන්දීය පිරිපහදු සමාගම් පසුගිය සතිය තුළ පමණක් රුසියානු තෙල් බැරල් මිලියන 30ක් පමණ ඇණවුම් කර තිබේ
‘Aqua Titan’ නෞකාවට අමතරව ‘Zouzou N.’ ඇතුළු තවත් රුසියානු තෙල් රැගත් නෞකා කිහිපයක්ම චීනය වෙනුවට ඉන්දියාවේ සික්කා (Sikka) වරාය වැනි ගමනාන්ත වෙත සිය ගමන් මග වෙනස් කරමින් පවතී
ගෝලීය තෙල් මිල බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යද්දී, ඉන්දියාව ලබාගත් මෙම අවසරය කලාපීය බලශක්ති ස්ථාවරත්වයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවලට ද යම් සහනයක් වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අද දින මෙරට බලශක්ති අමාත්‍යාංශය ද විශේෂ සාකච්ඡාවක නිරත විය.














