‘දිට්වා’ (Ditwa) සුළිකුණාටුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ නානුඔය අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට කඩිනමින් ආරම්භ කර තිබේ. සුළිකුණාටු තත්ත්වය හමුවේ දුම්රිය මාර්ගයේ අනෙකුත් කොටස් යථා තත්ත්වයට පත් කර අවසන් වුවද, මෙම ප්‍රදේශයේ සිදුවූ දැඩි පස් කඩා වැටීම් හේතුවෙන් පිළිසකර කිරීම් සඳහා වැඩි කාලයක් ගත වී ඇත.
සංචාරක ආකර්ෂණය ඉහළින්ම පවතින මෙම දුම්රිය මාර්ග කොටසේ පස් තට්ටු විශාල වශයෙන් නායයාම නිසා දුම්රිය පීලි පමණක් වාතයේ එල්ලී පවතින අයුරු නිරීක්ෂණය විය. සුන්දර ඇබර්ඩීන් දියඇල්ල අසල මාර්ගයට කඩා වැටී තිබූ පස් කඳු මේ වන විට ඉවත් කර අවසන් කර තිබේ
දිට්වා සුළිකුණාටුවෙන් පසු උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයට ද දැඩි බලපෑම් එල්ල විය. ඇල්ල දුම්රිය ස්ථානයේදී අද (18) දහවල් ජර්මන් ජාතිකයින් පිරිසක් විරෝධතාවයක නිරත වූයේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගැනීමට පවතින දුෂ්කරතා මුල් කරගනිමිනි
ගෝලීය වශයෙන් මැදපෙරදිග ඇවිළී ඇති යුද වාතාවරණය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය ආරක්ෂා කර ගැනීම රජයේ මූලික අරමුණක් වී තිබේ. අද නවදිල්ලියේදී WION සමුළුව ඇමතූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අවධාරණය කළේ කලාපීය ස්ථාවරත්වය මෙන්ම දේශීය යටිතල පහසුකම් සංවර්ධනය ද රටක ආර්ථිකයට තීරණාත්මක වන බවයි.
අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ අකුණු සහිත අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද, අඹේවෙල – නානුඔය දුම්රිය ධාවනය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බව දුම්රිය බලධාරීන් විශ්වාසය පළ කරයි.














