‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දියාව ලබා දෙන ප්‍රතිසංස්කරණ ආධාර වැඩසටහන යටතේ හලාවත – තොඩුවාව මාර්ගයේ ඉදි කරන ලද අඩි 240ක් දිගැති සුවිශේෂී බේලි පාලම අද (18) නිල වශයෙන් විවෘත කරන ලදී. තොඩුවාව සහ ඉරණවිල යන වෙරළබඩ ගම්මාන යා කරමින් ඉදි වූ මෙම පාලම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ සිට පුත්තලම දක්වා දිවෙන වෙරළබඩ තීරයේ ප්‍රවාහන සබඳතා යළි ස්ථාපිත කරන මෙම පාලම ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ධීවර ප්‍රජාවගේ ආර්ථික කටයුතු නංවාලීමට මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය පහසු කිරීමට ද සෘජුවම දායක වේ.
ඉන්දියාව විසින් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද දිගම සහ පළලින් වැඩිම බේලි පාලම ලෙස මෙය වාර්තා අතරට එක් වන අතර, එහි පළල අඩි 13කි. මැද ආධාරක කුළුණක් සහිතව ‘ඩබල් රීඉන්ෆෝස්ඩ්’ (Double-reinforced) තාක්ෂණයෙන් යුතුව ඉදි කර ඇති මෙම පාලම සඳහා අවශ්‍ය කොටස් 2026 පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් මෙරටට රැගෙන එනු ලැබීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, ඉන් ඩොලර් මිලියන 30ක් වෙන් කර ඇත්තේ සුළි කුණාටුවෙන් විනාශ වූ පාලම් යළි ඉදිකිරීම වෙනුවෙනි.
මෙම සුවිශේෂී ඉදිකිරීම් කටයුත්ත ඉන්දීය යුද හමුදාවේ ඉංජිනේරු කාර්ය සාධක බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සිදු කර ඇත. පසුගිය මාස හතරක කාලය තුළ ඉන්දීය ඉංජිනේරු කණ්ඩායම් දිවයිනේ පළාත් හතක විසිරී ඇති පාලම් ස්ථාන 40කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ තවත් බේලි පාලම් 15ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මීට පෙරද කිලිනොච්චිය සහ මහනුවර-රගල මාර්ගයේ මෙවැනි පාලම් ඉදි කරමින් ඉන්දියාව මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට සිය සහයෝගය ලබා දී ඇත.
















