පවතින ආර්ථික සහ බලශක්ති අර්බුදකාරී තත්ත්වය හමුවේ මහජනතාව මුහුණ දී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි සියලුම රථ ගාල්වල (Parking) ගාස්තු අය කිරීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ. කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා ප්‍රකාශ කළේ, නැවත දැනුම් දෙන තුරු කොළඹ නගර සභාවට අයත් කිසිදු මාර්ගයක හෝ රථගාලක වාහන ගාස්තු අය නොකෙරෙන බවයි.
මෙම තීරණය පිළිබඳව දැනටමත් අදාළ සියලුම අංශ සහ ගාස්තු අය කරන නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, ජනතාවට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ අනුව අද සිට කොළඹ නගර සීමාව තුළ වාහන නවතා තැබීමේදී කිසිදු පුද්ගලයෙකුට ගාස්තු ගෙවීමක් සිදු නොකළ යුතු බව නගර සභාව මහජනතාවට දැනුම් දෙයි.














