බදාදා දින ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මයිල් ඛතීබ් (Esmail Khatib) මියගිය බව ඉරාන රජය නිල වශයෙන් තහවුරු කර තිබේ. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් මෙම “බිරුදු ඝාතනය” දැඩි ලෙස හෙළා දුටු අතර, සිය සගයන් වන එස්මයිල් ඛතීබ්, අලි ලරිජානි සහ අසීස් නසීර්සාදේ ඇතුළු පිරිසගේ වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කළේය. මියගිය පිරිස අතර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, ෂුරා සභාවේ ලේකම්වරයා මෙන්ම හමුදා සහ බසීජ් (Basij) බලකායේ අණදෙන නිලධාරීන් ද සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් (Israel Katz) ප්‍රකාශ කළේ බුද්ධි අංශ අමාත්‍යවරයා ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරයක් හරහා ඔහුව විනාශ කළ බවයි. මෙය ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කර දිනකට පසුව සිදු වූවකි. මීට අමතරව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කර විනාශ කිරීමට ඊශ්‍රායල හමුදාවට පූර්ව අනුමැතියකින් තොරව ක්‍රියා කිරීමට ස්ථාවර බලය ලබා දී ඇති බව ද වාර්තා වේ. පසුගිය දින දෙක ඇතුළත ඉරානයේ ඉහළම නායකයින් තිදෙනෙකු ඝාතනය වී ඇති අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අනුබද්ධ බසීජ් බලකායේ අණදෙන නිලධාරී ගොලම්රේසා සොලෙයිමානි ද ඒ අතර වේ.
ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ටෙහෙරානයට එල්ල කළ මූලික ප්‍රහාරවලින් ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ද මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම ප්‍රහාරවලට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනි ඇතුළු ඉහළ නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි. අලි ලරිජානිගේ ඝාතනයෙන් පසු ඊශ්‍රායල අගමැතිවරයා රූපවාහිනී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඊශ්‍රායලය එම “කාර්යය නොමිලයේම ඉටු කර දුන්” බවයි.














