අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ආයතන, පුද්ගලයින් (Online Business) සහ කුරියර් සේවාවන් (Courier Services) ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කර තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. විශේෂයෙන්ම එළඹෙන උත්සව සමයේදී ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීම් ඉහළ යන බැවින්, එම ක්ෂේත්‍රය නිසි නියාමනයකට ලක් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ 2023 මැයි 17 වන දින නිකුත් කරන ලද අංක 91 දරන විධාන යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රයට අනුකූලවය. පාරිභෝගිකයන්ට ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව මින් ඉදිරියට විශේෂ අවධානයක් යොමු කරන බවත්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
මහජන සෞඛ්‍යයට හානිකර පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු භාණ්ඩ අලෙවි කිරීමෙන් හෝ බෙදා හැරීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා සියලුම වෙළෙඳුන්ගෙන් සහ කුරියර් සේවාවන්ගෙන් ඉල්ලීමක් කළේය. 2026 වසරේදී පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග කඩිනමින් සහ විධිමත්ව ගන්නා බවත්, එමගින් පාරිභෝගික විශ්වසනීයත්වය ඉහළ මට්ටමක පවතින වෙළෙඳපොළක් නිර්මාණය කරන බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














