නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව සීඝ්‍රයෙන් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ආර්ථික දර්ශක වාර්තා මගින් අනාවරණය වේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම මෙයට හේතුව බවට ආන්දෝලනාත්මක කතාබහක් මතුව ඇති අතර, මාර්තු 03 වැනිදා ගිගාවොට් 34.2ක්ව පැවති ගල්අඟුරු විදුලි උත්පාදනය ඊයේ (17) වන විට ගිගාවොට් 26.2 දක්වා පහත වැටී ඇත. මේ හේතුවෙන් ජාතික පද්ධතියට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට ඩීසල් බලාගාර මත වැඩිපුර යැපීමට සිදුව ඇති අතර, මාර්තු 03 වැනිදා ගිගාවොට් 18.7ක්ව පැවති ඩීසල් විදුලි උත්පාදනය මාර්තු 17 වන විට ගිගාවොට් 26 දක්වා ඉහළ ගොස් තිබේ. පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලිය නිපදවීමට මෙලෙස වැඩිපුර ඩීසල් වැය කිරීම අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් විය හැකි බවට බලශක්ති විශේෂඥයෝ අනතුරු අඟවති.














