ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක හමුවේ වුවද, බොරතෙල් බැරල් 730,000ක් රැගත් රුසියානු තෙල් නෞකාවක් කියුබාව බලා ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මුහුදු ගමන් දත්ත (Maritime Tracking Data) අනාවරණය කරයි. කියුබාව මේ වන විට දැඩි විදුලි අර්බුදයකට සහ ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින පසුබිමක මෙම රුසියානු සහයෝගය ඉතා වැදගත් වී තිබේ.
‘ඇනටෝලි කොලොඩ්කින්’ (Anatoly Kolodkin) නැමති මෙම රුසියානු නෞකාව මාර්තු 08 වන දින රුසියාවේ ප්‍රිමෝර්ස්ක් (Primorsk) වරායෙන් පිටත්ව ඇති අතර, එය මාර්තු 23 වන දින කියුබාවේ මතන්සාස් (Matanzas) තෙල් පර්යන්තය වෙත ළඟා වීමට නියමිතය. මෙම නෞකාව රුසියානු රජයට අයත් ‘සොව්කොම්ෆ්ලොට්’ (Sovcomflot) සමාගම සතු එකක් වන අතර, එය දැනටමත් ඇමරිකාව සහ යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා ඇති නෞකාවකි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාව “තමන් යටතට ගන්නා” බවට මෑතකදී කළ ප්‍රකාශයත් සමඟ කලාපයේ දේශපාලන උණුසුම ඉහළ ගොස් ඇත. වෙනිසියුලාවෙන් කියුබාවට ලැබෙන තෙල් සැපයුම නතර කිරීමට ට්‍රම්ප් පාලනය පියවර ගෙන ඇති අතර, කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට බදු පනවන බවට ද ඔහු අනතුරු අඟවා තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ රුසියාව කියුබාවට තෙල් සැපයීම ඇමරිකානු බලපෑමට එල්ල කළ සෘජු අභියෝගයක් ලෙස සැලකේ.


















