පසුගිය ජනවාරි මාසයේදී ඉරානය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් අතරතුර පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සහ ඊශ්‍රායලය හා ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ඔත්තු බැලීමේ මෙහෙයුම්වල නිරත වීම යන චෝදනා මත වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකු අද (19) උදෑසන එල්ලා මරා දැමූ බව ඉරාන අධිකරණය නිවේදනය කළේය. ඉරාන අධිකරණයේ නිල වෙබ් අඩවිය වන ‘මිසාන් ඔන්ලයින්’ (Mizan Online) පවසන පරිදි, මොවුන් තිදෙනාට එරෙහිව මිනීමැරීම සහ “සියොන්වාදී පාලනය” (ඊශ්‍රායලය) වෙනුවෙන් ක්‍රියා කිරීම යන චෝදනා එල්ල වී තිබුණි.
මෙම පුද්ගලයන් තිදෙනා ඉරාන නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සෘජුවම සම්බන්ධ වී ඇති බව අධිකරණ වාර්තාවල සඳහන් වේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර වත්මන් යුදමය තත්ත්වය උච්චතම අවස්ථාවකට පැමිණ ඇති පසුබිමක, රජයට එරෙහිව ඔත්තු බැලූ බවට චෝදනා ලැබූවන්ට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි. ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන බුද්ධි අංශ අමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක ප්‍රධානියා මියගොස් ඇති බවට වාර්තා පළවන අතරතුර මෙම දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඉරානයේ මෙම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරන අතර, එරට රජය පවසන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. මෙම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමත් සමඟ ඉරානය සහ බටහිර රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් දැඩි පීඩනයකට ලක්වනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ මත පළ කරති.














