යුක්රේනයට ලබාදීමට නියමිත යුරෝ බිලියන 90ක තීරණාත්මක ණය මුදල හංගේරියාව විසින් අවහිර කිරීම හේතුවෙන්, අද (19) බ්‍රසල්ස් නුවරදී ආරම්භ වන යුරෝපා සංගම් (EU) නායක සමුළුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වේ. රුසියාවේ සිට හංගේරියාවට තෙල් සපයන ‘ඩ්රුෂ්බා’ (Druzhba) නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන තෙක් මෙම ණය මුදලට අනුමැතිය ලබා නොදෙන බව හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orbán) අවධාරණය කර තිබේ.
“තෙල් නැත්නම් සල්ලිත් නැහැ” යනුවෙන් ඕර්බන් ප්‍රකාශ කර ඇති අතර, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියානු ගුවන් ප්‍රහාරවලින් හානි වූ එම නල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට යුක්රේනය උපරිම උත්සාහයක් දරන බවයි. ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත හංගේරියානු මැතිවරණය හමුවේ ඕර්බන් සිය දේශපාලන ස්ථාවරය ශක්තිමත් කරගැනීමට මෙම අර්බුදය භාවිත කරන බවට ද විචාරකයෝ චෝදනා කරති. හංගේරියාවේ මෙම ක්‍රියාකලාපය යුරෝපා සංගමයේ සෙසු රටවල් 26හි දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර, එය “බ්ලැක්මේල් කිරීමක්” (blackmail) ලෙස ඇතැම් රාජ්‍ය තාන්ත්‍රිකයෝ හඳුන්වති.
මෙම අර්බුදය විසඳීම සඳහා හානි වූ තෙල් නල පද්ධතිය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය ආධාර ලබාදීමට යුරෝපා කොමිසම එකඟ වී ඇත. කෙසේ වෙතත්, රුසියානු තෙල් භාවිතය නතර කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති යුරෝපා සංගමය, නැවතත් රුසියානු තෙල් ලබාගැනීමට පහසුකම් සැලසීම පරස්පර විරෝධී ක්‍රියාවක් බවට ද විවේචන එල්ල වේ. අද පැවැත්වෙන සමුළුවේදී මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ යුක්රේන ණය අර්බුදය ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වනු ඇත.














