අමෙරිකානු නාවික හමුදාව සතු ලොව දියුණුම සහ විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ‘යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝඩ්’ (USS Gerald R. Ford) නෞකාවේ හටගත් ගින්නකින් සිදු වූ හානි අලුත්වැඩියා කිරීම සඳහා එය ග්‍රීසියේ ක්‍රීට් දූපත වෙත යාත්‍රා කිරීමට සූදානම් වෙයි. පසුගිය මාර්තු 02 වනදා නෞකාවේ රෙදි සෝදන අංශයේ (Laundry facility) හටගත් මෙම ගින්න මැඩපැවැත්වීමට පැය කිහිපයක් ගත වී ඇති අතර, එහිදී නාවිකයින් 200කට අධික පිරිසක් දුමාරය ආශ්වාස කිරීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර තිබේ. රතු මුහුදේ මෙහෙයුම්වල නිරතව සිටි මෙම ඩොලර් බිලියන 13ක් වටිනා නෞකාව, මීට පෙර එහි වැසිකිළි පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ද දැඩි කතාබහට ලක්විය. දැනට මාස නවයකට අධික කාලයක් මුහුදේ රැඳී සිටින මෙම නෞකාව වෙනුවට ‘යූඑස්එස් ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්’ නෞකාව ඉදිරියේදී යෙදවීමට නියමිත බව වාර්තා වේ.














