ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනය වූ ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් අලි ලාරිජානි (Ali Larijani) ගේ මරණය සම්බන්ධයෙන් කාශ්මීරයේ ප්‍රධාන ආගමික නායක මීර්වායිස් උමාර් ෆාරුක් (Mirwaiz Umar Farooq) සහ ජම්මු – කාශ්මීර මහජන කොන්ෆරන්ස් (JKPC) නායක ඉම්රාන් රීසා අන්සාරි (Imran Reza Ansari) සිය දැඩි විරෝධය පළ කර තිබේ. බදාදා (මාර්තු 18) ශ්‍රී නගර් හිදී අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඝාතනය මුළු මහත් මුස්ලිම් ලෝකයටම සිදුවූ බලවත් පාඩුවක් බවයි.
මෙහිදී ෂියා ආගමික නායකයෙකු මෙන්ම සමස්ත ජම්මු – කාශ්මීර ෂියා සංගමයේ සභාපතිවරයා ද වන ඉම්රාන් අන්සාරි මහතා ප්‍රකාශ කළේ ලාරිජානිගේ අභාවය ඉරානයට පමණක් සීමා වූවක් නොව සමස්ත ඉස්ලාමීය ලෝකයටම දැනෙන ප්‍රබල වේදනාවක් බවයි. මීර්වායිස් උමාර් ෆාරුක් ද මෙම ප්‍රහාරය සාමයට එරෙහි ක්‍රියාවක් ලෙස හඳුන්වමින් එය දැඩි ලෙස හෙළා දැක තිබේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හමුවේ මෙවැනි ප්‍රමුඛ පෙළේ නායකයින් ඉලක්ක කිරීම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














