ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන “Dream Destination” ව්‍යාපෘතිය යටතේ බම්බලපිටිය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ කටයුතු අද (මාර්තු 19) විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 600ක ඇස්තමේන්තුගත පිරිවැයක් දරනු ලබන්නේ ‘Dawoodi Bohras’ ප්‍රජාවගේ මූල්‍ය දායකත්වයෙනි. ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙහි ඉදිකිරීම් කටයුතු ‘Amic Engineering’ පෞද්ගලික ආයතනය විසින් සිදු කරනු ලබයි. ඉදිරි මාස 5ක් ඇතුළත මෙහි වැඩකටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇත.
දුම්රිය ස්ථානයේ වහලය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම, දිරාපත්ව ඇති යකඩ පඩිපෙළ ශක්තිමත්ව නැවත ඉදිකිරීම, මගී වේදිකා නවීකරණය සහ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති ස්ථාපනය කිරීම මෙයට ඇතුළත් වේ. මීට අමතරව ආබාධිත පුද්ගලයින් සඳහා පහසු ප්‍රවේශ මාර්ග සකස් කිරීම සහ වැසිකිළි පද්ධති ඇතුළු මගී පහසුකම් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ දැනටමත් තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කර අවසන් කර ඇති අතර නාරාහේන්පිට, දෙහිවල, පොලොන්නරුව සහ මහනුවර ඇතුළු දුම්රිය ස්ථාන රැසක් ඉදිරියේදී පූර්ණ නවීකරණයට ලක් කිරීමට නියමිතය.














