මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය නොසන්සුන්තාවයත් සමඟ ලොව ප්‍රධාන පෙළේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපය පුරා ස්වභාවික ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය පිහිටි ඉරානයට සහ කටාර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර මෙලෙස බලශක්ති වෙළඳපොළ අස්ථාවර වීමට ප්‍රධානතම හේතුව වී තිබේ.
ඉරානයේ ස්වභාවික ගෑස් නිධිවලට ප්‍රහාර එල්ල වීමත් සමඟ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් කලාපයේ අනෙකුත් රටවල බලශක්ති මධ්‍යස්ථානවලට ද ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. කටාර් හි පිහිටි ප්‍රමුඛතම බලශක්ති සංකීර්ණයක් වන රාස් ලෆාන් (Ras Laffan) මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ගෝලීය ගෑස් සැපයුම් ජාලයට දැඩි බාධා එල්ල වී ඇත.
මෙම සැපයුම් අඩාල වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ සහ යුරෝපීය රටවල ගෑස් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එය ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගික භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට ද බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. මැදපෙරදිග පවතින මෙම අස්ථාවර භාවය ගෝලීය බලශක්ති සුරක්ෂිතතාවයට එල්ල වූ බරපතල තර්ජනයක් ලෙස ද ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.














