ඇමරිකානු මහද්වීපය ප්‍රථමයෙන් සොයාගනු ලැබුවේ ක්‍රිස්ටෝපර් කොලම්බස් විසින් බවට පවතින පිළිගැනීම අභියෝගයට ලක් කරමින් මෙක්ෂිකෝවේ පැරණි සොහොන් ගැබකින් රෝම යුගයට අයත් ටෙරාකොටා ප්‍රතිමා හිසක් හමුවී තිබේ. “Tecaxic-Calixtlahuaca Head” ලෙස හැඳින්වෙන මෙම කුඩා කෞතුක වස්තුව යුරෝපීය පෙනුමකින් යුත් රැවුල වැවූ මිනිසෙකුගේ රුවක් නිරූපණය කරන අතර එය 1933 වසරේදී සොයාගන්නා ලද්දකි. ප්‍රකට ජර්මානු පුරාවිද්‍යාඥ බර්නාඩ් ඇන්ඩ්‍රියා පවසන පරිදි මෙම නිර්මාණය කිසිදු සැකයකින් තොරව රෝම අධිරාජ්‍යයේ ක්‍රි.ව. 200 සෙවේරියන් යුගයට අයත් වේ. එහි කොණ්ඩය සකස් කර ඇති ආකාරය සහ රැවුලේ ස්වභාවය එකල රෝම විලාසිතාවන්ට සම්පූර්ණයෙන්ම සමාන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. තර්මෝලුමිනෙසන්ස් තාක්ෂණය භාවිතයෙන් කළ පරීක්ෂණ මගින්ද තහවුරු වී ඇත්තේ මෙය යුරෝපීයයන් ඇමරිකාවට පැමිණීමට බොහෝ කලකට පෙර නිර්මාණය වූවක් බවයි.
මෙම සොයාගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා ලෝකයේ ප්‍රධාන මත කිහිපයක් පවතින අතර ඉන් එකක් වන්නේ රෝම හෝ ෆීනීෂියානු නෞකාවක් අත්ලාන්තික් සාගර දියවැල්වලට හසුවී අත්වැරදීමකින් ඇමරිකානු වෙරළට ළඟා වී පසුව එම භාණ්ඩ වෙළඳාම හරහා ගොඩබිම තුළට පැමිණෙන්නට ඇති බවයි. ඇතැම් විචාරකයන් පවසන්නේ මෙය ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් පැමිණි මුල් අවධියේදී යුරෝපයෙන් ගෙන ආ වස්තුවක් විය හැකි බව වුවත් තවත් පිරිසක් පවසන්නේ මෙය 1933 කැණීම් වාර්තාවල පවතින යම් යම් අඩුවැඩිකම් නිසා කිසිවෙකු විසින් සිතාමතා තැන්පත් කළ කෞතුක වංචාවක් විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රතිමා හිස හමුවී ඇත්තේ කිසිදු හානියකට ලක් නොවූ තට්ටු කිහිපයකින් වැසුණු සොහොන් ගැබකින් වීම නිසා එය පසුකාලීනව තැන්පත් වූවක් යන්න පිළිගැනීමට අපහසු බව පුරාවිද්‍යාඥයෝ පවසති. මෙම සොයාගැනීම තහවුරු වුවහොත් එය මීට පෙර නිව්ෆවුන්ඩ්ලන්ඩ් හිදී හමුවූ වයිකින්වරුන්ගේ ජනාවාස මෙන්ම ලෝක ඉතිහාසය අලුතින් ලිවීමට බලපාන ප්‍රධාන සාධකයක් වනු ඇත.














