තම රටේ බලශක්ති පද්ධතිය ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර හමුවේ ඉරානය අද (මාර්තු 19) ලෝකයටම බලපාන ආකාරයේ දරුණු අනතුරු ඇඟවීමක් සිදු කළේය. ඉරානයේ ගෑස් නිධිවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, ඉදිරියේදී තම රටට පහර දුන්නොත් ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල පවතින සියලුම තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරන බව ඉරානය අවධාරණය කර සිටී.
පසුගිය පැය කිහිපය තුළ ඉරානයේ ප්‍රධාන ගෑස් නිධියකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඉරානය දැනටමත් කලාපයේ අනෙකුත් රටවල තෙල් නිධි ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසයි. ඉරාන හමුදා මධ්‍යම විධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සතුරා තම රටේ බලශක්ති පද්ධතියට පහර දීමෙන් “විශාල වැරැද්දක්” සිදු කර ඇති බවයි.
සතුරාගේ හෝ ඔවුන්ගේ මිත්‍ර රටවල බලශක්ති පද්ධති මුළුමනින්ම විනාශ වන තෙක් ඉරානය සිය ප්‍රහාර නතර නොකරන බවත් ඉදිරි ප්‍රහාර මීට පෙර එල්ල කළ ප්‍රහාරවලට වඩා බෙහෙවින් දරුණු වනු ඇති බවටත් ඉරානය අනතුරු අඟවයි. මෙම තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල තවදුරටත් ඉහළ යා හැකි අතර මැදපෙරදිග කලාපය දැවැන්ත යුදමය අර්බුදයකට තල්ලු වෙමින් පවතී.














