මාර්තු 22 වන දිනට යෙදෙන ලෝක ජල දිනය සැමරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය සහ ජල සම්පත් මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන “තිරසර දියවර” ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (19) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර ජල දිනය “ජලය සහ මානව සබැඳියාව” යන තේමාව යටතේ සැමරීමට කටයුතු යොදා ඇත.
වසර 62කට පසුව 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති අතර ඒ හරහා ජල මූලාශ්‍ර සහ භූගත ජල පෝෂක ප්‍රදේශ නීත්‍යානුකූලව සුරක්ෂිත කිරීම අපේක්ෂා කෙරේ. ජලයේ ගුණාත්මකභාවය සිතියම්ගත කිරීම සහ ජල උල්පත් සංරක්ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ද මෙයට ඇතුළත් වේ.
“තිරසර දියවර” වැඩසටහනේ මූලික අදියරක් ලෙස පසුගිය මාර්තු 17 සහ 18 යන දෙදින තුළ මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ජංගම ජල පරීක්ෂණ සේවාවක් ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී ජනතාව පරිභෝජනය කරන ජලයේ ප්‍රමිතිය පරීක්ෂා කර දීම සහ ජල දූෂණය පිළිබඳ ප්‍රජාව දැනුවත් කරමින් ජල මූලාශ්‍ර රැකගැනීමට ඔවුන් දායක කරගැනීම සිදු විය.
නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් සුරක්ෂිත පානීය ජල අයිතිය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව මෙහිදී අවධාරණය කෙරුණු අතර භූගත සහ මතුපිට ජල සම්පත කළමනාකරණය සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමට ද පියවර ගෙන ඇත.














