නූතන ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය වඩාත් සුරක්ෂිත කළ හැකි “ක්වොන්ටම් ගුප්ත ලේඛන ශිල්පය” (Quantum Cryptography) හඳුන්වා දුන් ඇමරිකානු භෞතික විද්‍යාඥ චාල්ස් එච්. බෙනට් (Charles H. Bennett) සහ කැනේඩියානු පරිගණක විද්‍යාඥ ගිලෙස් බ්‍රසාර්ඩ් (Gilles Brassard) මෙවර ටියුරින් සම්මානයෙන් (Turing Award) පිදුම් ලබා ඇත. ගණිතඥ ඇලන් ටියුරින් සිහිපත් කරමින් පිරිනමනු ලබන මෙම සම්මානය පරිගණක ක්ෂේත්‍රයේ පිරිනමන ඉහළම ගෞරවය ලෙස සැලකෙන අතර එය ඩොලර් මිලියනයක තෑගි මුදලකට හිමිකම් කියයි.
මොවුන් දෙපළ ප්‍රථම වරට හමු වී ඇත්තේ 1979 වසරේ පුවර්ටෝ රිකෝහි පැවැති අධ්‍යයන සමුළුවකදීය. එහිදී කිසිසේත් ව්‍යාජ ලෙස සකස් කළ නොහැකි මුදල් නෝට්ටුවක් (Banknote) නිර්මාණය කිරීම පිළිබඳව ඇති වූ සාකච්ඡාවක්, දශක ගණනාවක ඒකාබද්ධ පර්යේෂණ මෙහෙයුමකට මුල පිරීය. 1984 වසරේදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද BB84 නමැති න්‍යාය, ක්වොන්ටම් භෞතික විද්‍යාව පදනම් කරගනිමින් දත්ත සන්නිවේදනය සුරක්ෂිත කරන ආකාරය පෙන්වා දුන්නේය.
දැනට ලෝකයේ භාවිත වන සංකේතන (Encryption) ක්‍රමවේදයන් සංකීර්ණ ගණිතමය සමීකරණ මත පදනම් වුවද, අනාගතයේදී බිහිවන අධිවේගී ක්වොන්ටම් පරිගණක හරහා ඒවා බිඳ දැමීමේ හැකියාව පවතින බව විද්‍යාඥයෝ විශ්වාස කරති. නමුත් බෙනට් සහ බ්‍රසාර්ඩ්ගේ ක්‍රමවේදය අනුව, කිසියම් පුද්ගලයෙකු දත්ත සන්නිවේදනයකට බාධා කිරීමට හෝ එය සොරකම් කිරීමට උත්සාහ කළහොත් එම දත්තවල හැසිරීම වහාම වෙනස් වන බැවින් එය පිටපත් කිරීම හෝ හැක් (Hack) කිරීම කළ නොහැක්කකි. ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ ඩිජිටල් සන්නිවේදනය සුරක්ෂිත කිරීමට මෙම තාක්ෂණය අතිශය තීරණාත්මක වනු ඇතැයි සම්මාන කමිටුව පෙන්වා දෙයි.














