ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මාසයක් පුරා උපවාසයේ යෙදී නව සඳ දැකීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබපැතුම් පණිවිඩය නිකුත් කර තිබේ. ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් එකක් වන රාමසාන් උපවාසය මගින් ලෞකික ආශාවන්ගෙන් දුරස් වී, පරිත්‍යාගය සහ ස්වයං දමනය පදනම් කරගත් ගුණවත් ජීවිතයක වැදගත්කම පිළිබිඹු කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරයි.
රාමසාන් උපවාසය හරහා අනෙකාගේ කුසගින්න තමන්ගේම වේදනාවක් ලෙස හඳුනා ගැනීමටත්, මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය පෙරදැරිව සහජීවනයෙන් ජීවත් වීමටත් මිනිසාට හුරුවක් ලැබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මෙම උතුම් මානුෂීය පණිවිඩය මුළු මහත් ගෝලීය ප්‍රජාවටම වැදගත් වන බවත්, සාමය, සමානතාවය සහ සහජීවනය වැනි උදාර ගුණාංග මගින් බැතිමතුන්ගේ චර්යාවන් වඩාත් අර්ථාන්විත වන බවත් ඔහු සඳහන් කර සිටියි.
මුළු ලෝකයම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, මෙවර රාමසාන් යාච්ඤාවන්ගේ ආශිර්වාදයෙන් එම අභියෝග පහව ගොස් සැමගේ අයිතිවාසිකම් සහ නිදහස සුරක්ෂිත වන සාමකාමී ලොවක් උදාවනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා පවසයි. රජයක් ලෙස රටේ ආර්ථිකය සහ ජන ජීවිතය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවත්, ජාතික ප්‍රයත්නය උදෙසා සියලු භේද පසෙකලා එක්වන ලෙසත් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා වෙසෙන මුස්ලිම් ප්‍රජාවට සාමකාමී ඊදුල් ෆිතර් උත්සවයක් වේවායි ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් සුබ පතයි.














