ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය අවසන් කිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “ඉෆ්තාර්” සැමරුම් උත්සවයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉස්ලාම් ආගමික නායකයින්, මැති ඇමතිවරුන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ආගමික වතාවත්වලට මුල්තැන ලබා දුන් අතර, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. එහිදී අදහස් දැක්වූ ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාසර් මහතා සහජීවනයේ වැදගත්කම අවධාරණය කළ අතර ජනාධිපතිවරයා ද පැමිණ සිටි ආරාධිත පිරිස සමඟ සුහද කතාබහක නිරත විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමාචන්ද්‍ර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජයසිංහ, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. එමෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ කොළඹ නගරාධිපතිනි ස්ටැන්ලි කයිතන් බල්තසාර් යන මහත්ම මහත්මීන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙයට එක්ව සිටියහ. මීට අමතරව රාජ්‍ය නිලධාරීන්, විදේශීය තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයේ පැවති මෙම ඉෆ්තාර් සැමරුම වර්ණවත් කිරීමට එක්ව සිටීම විශේෂත්වයකි.














