ඉරානයට එරෙහිව දියත් කර ඇති යුධමය මෙහෙයුම්වලදී වඩාත්ම සහයෝගය දක්වන රටවල් කවුදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මහතා ප්‍රකාශ කළේ ඉශ්‍රායලය පළමු දිනයේ සිටම ඉතා දක්ෂ සහ විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස කටයුතු කරන බවයි. ඉශ්‍රායලය ඕනෑම අවස්ථාවක යුධමය වශයෙන් ක්‍රියා කිරීමට සූදානම්ව සිටින ඉතාමත් කාර්යක්ෂම හවුල්කරුවෙකු බව ඔහු මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.
එමෙන්ම, ගල්ෆ් කලාපයේ රටවල් ද බලාපොරොත්තු නොවූ මට්ටමින් ඇමරිකාව සමඟ එක්ව කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය, බහරේනය, කුවේටය සහ සෞදි අරාබිය ඇතුළු රටවල් ඇමරිකාව සමඟ එක්ව ආරක්ෂක කටයුතුවල නිරත වීම පිළිබඳව තමන් ආඩම්බර වන බව ඔහු පැවසීය. මෙම රටවල් ඇමරිකාව සමඟ උරෙනුර ගැටී සිටින බවත්, ඔවුන්ගේ කැපවීම යුද්ධයේ ඉදිරි ගමනට මහත් ශක්තියක් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.
ඉරානයේ ප්‍රහාර හමුවේ ගල්ෆ් රටවල් තවදුරටත් ඇමරිකානු කක්ෂයට ආකර්ෂණය වෙමින් පවතින බවත්, මෙය කලාපීය ආරක්ෂාව සහතික කිරීම සඳහා වැදගත් වන බවත් හෙග්සෙත් මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ. විශේෂයෙන්ම බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර පාලනය කිරීමේදී මෙම රටවල් ලබාදෙන සහයෝගය ඇමරිකානු-ඉශ්‍රායල මෙහෙයුම්වල සාර්ථකත්වයට සෘජුව බලපා ඇති බව යුධ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














