පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන්, අදාළ පාර්ශවයන්ට එකඟතාවයකට පැමිණිය හැකිද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (19) නියෝග කළේය. දැනට සේවය අත්හිටුවා සිටින කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ මෙම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ කරුණු කෙරෙහි අධිකරණයේ අවධානය යොමු වූ අතර, මෙම නීතිමය ක්‍රියාවලිය සමථයකින් අවසන් කිරීමේ හැකියාව සොයා බලන ලෙස සියලු පාර්ශවයන්ට දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම මගින් වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු 14 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර, තමන්ව නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් කිරීම නීත්‍යානුකූලව සහ විනිවිදභාවයකින් යුතුව සිදු වූ බවත්, අවශ්‍ය සියලු සුදුසුකම් තමන් සතු බවත් පෙත්සම්කරු පෙන්වා දෙයි. විශේෂයෙන්ම තමන් පූර්වයෙන් දැරූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් තනතුරේ සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය සඳහා එක් කර ගැනීමට ඇති නෛතික අයිතිය ද ඔහු මෙහිදී තහවුරු කර ඇත.
පෙත්සම්කරු චෝදනා කරන්නේ කථානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී තමන් දුටු සිද්ධියක් සහ කථානායකවරයාගේ දූෂණ ක්‍රියා පිළිබඳව අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් තමන්ට එරෙහිව ද්වේශ සහගත ලෙස විමර්ශනයක් ආරම්භ කළ බවයි. එම විමර්ශනය සඳහා විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු පත් කිරීම නීතිවිරෝධී බවත්, එමගින් ඉදිරිපත් කළ සාවද්‍ය වාර්තාව මත පදනම්ව තමන්ගේ වැඩ තහනම් කර ඇති බවත් ඔහු පවසයි. මෙම සිදුවීමට අදාළව කථානායකවරයාට එරෙහිව දූෂණ චෝදනා 8ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද ඔහු පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
බලයේ සිටින කථානායකවරයෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙවැනි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තා වූ සිදුවීමක් ලෙස සැලකේ. කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා සතු බලතල අනිසි ලෙස භාවිතා කරමින් මෙම විමර්ශන සිදු කර ඇති බවට පෙත්සම්කරු නගන චෝදනා පිළිබඳව ඉදිරි අධිකරණ වාරවලදී වැඩිදුරටත් කරුණු විමසීමට නියමිතය.














