රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් පැතිර යන විවිධ අසත්‍ය ප්‍රචාර බැහැර කරමින්, විදුලිය උත්පාදනය සඳහා වැයවන සැබෑ ඉන්ධන ප්‍රමාණය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කරුණු පැහැදිලි කරයි. සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ, ඉන්ධන ආනයනය සඳහා ප්‍රතිපාදන නොමැති බවට පළවන වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවයි. මෙරට දෛනික සාමාන්‍ය ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 4,500ත් 5,000ත් අතර අගයක පවතින අතර, ඉන් විදුලි උත්පාදනය සඳහා වැය වන්නේ මෙට්‍රික් ටොන් 500ක් වැනි සුළු ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන දත්තයන්ට අනුව, විදුලිය නිපදවීම සඳහා වැයවන මෙම ඩීසල් ප්‍රමාණය සමස්ත දෛනික පරිභෝජනයෙන් 10%ක් වැනි සුළු ප්‍රතිශතයකි. ගල්අඟුරු බලාගාරවලින් ජනනය වන විදුලියෙහි අඩුව පිරවීම සඳහා මෙගාවොට් 100ත් 130ත් අතර ප්‍රමාණයක් අතිරේකව උත්පාදනය කිරීමට අවශ්‍ය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 100ක් වැනි ප්‍රමාණයකි. මෙය විදුලිය නිපදවීමට දිනකට වැයවන මුළු ඩීසල් අවශ්‍යතාවයෙන් 20%ක ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කරයි.
මේ අනුව, පවතින තත්ත්වය හමුවේ විදුලිය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් ඉන්ධන පහසුකම් මෙරට සතුව පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික කර සිටියි. දේශපාලන වාසි තකා ඇතැම් පාර්ශවයන් විසින් මවනු ලබන බියට පත් නොවන ලෙසත්, බලශක්ති සැපයුම විධිමත්ව කළමනාකරණය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඔහු සිය සටහන මගින් අවධාරණය කරයි.














