2026 වසර සඳහා නිකුත් කර ඇති ලෝක සතුටු වාර්තාවට (World Happiness Report 2026) අනුව ලොව රටවල් 147ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 134 වැනි ස්ථානයයි. දර්ශකයේ ලකුණු 4.013ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස පසුපසට ගොස් ඇති අතර එහි ශ්‍රේණිගත කිරීම් පරාසය 132 සිට 139 දක්වා වූ 95%ක මට්ටමක පවතින බව වාර්තා වේ. මෙම දර්ශකය මගින් රටක ජනතාවගේ සතුට මැන බැලීම සඳහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගීතාව, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, තීරණ ගැනීමේ නිදහස, පරිත්‍යාගශීලීභාවය සහ දූෂණය පිළිබඳ මහජන මතය යන ප්‍රධාන සාධක හයක් උපයෝගී කර ගනු ලබයි.
දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස පසුපසින් සිටින බව මෙම දත්ත පෙන්වා දෙයි. කලාපයේ රටවල් අතරින් නේපාලය 99 වැනි ස්ථානයත්, පකිස්ථානය 104 වැනි ස්ථානයත් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් ඉදිරියෙන් පසුවේ. එමෙන්ම ඉන්දියාව 116 වැනි ස්ථානයේත්, බංග්ලාදේශය 127 වැනි ස්ථානයේත් පසුවන අතර ශ්‍රී ලංකාවට පසුව ලැයිස්තුවේ ස්ථානගත වී ඇත්තේ ඉතියෝපියාව (135), ඊජිප්තුව (139) සහ ලෙබනනය (141) වැනි රටවල් කිහිපයක් පමණි.
ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස මෙවරත් සිය ප්‍රථම ස්ථානය රැක ගැනීමට ෆින්ලන්තය සමත්ව ඇත්තේ ලකුණු 7.764ක් ලබා ගනිමිනි. අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගෙන ඇති අතර ලෝක සතුටු දර්ශකයේ අවසන් ස්ථානය හෙවත් 147 වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත. ආර්ථික අර්බුද සහ සමාජීය අස්ථාවරත්වයන් හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල් මෙලෙස දර්ශකයේ පහළට ගමන් කිරීම ගෝලීය අවධානයට ලක්ව ඇති කරුණකි.













