ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන කිසිදු හිඟයකින් තොරව ලබාදීමට රජය විශේෂ සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඊයේ (මාර්තු 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ඕනෑම ප්‍රමාණයක් ගොවි සංවිධාන හරහා ලබාගැනීමට මෙහිදී අවස්ථාව සලසා දී ඇත.
මීට පෙර ඉන්ධන ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන් රැසකගේ සහතික අවශ්‍ය වුවද, දැන් එය ලිහිල් කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර (කෘ.ප.නි.ස.) සහ අදාළ ගොවි සංවිධානයේ සහතිකය පමණක් ඉදිරිපත් කිරීම ඉන්ධන ලබාගැනීමට ප්‍රමාණවත් වේ.
ගොවි සංවිධාන මැදිහත් වී බැරල් හෝ ගැලුම් භාවිත කරමින් අවශ්‍ය ඉන්ධන තොග පිරවුම්හල්වලින් ලබාගෙන ගොවීන් අතර බෙදා හැරීමට ද රජය අවසර ලබා දී ඇත. මහ කන්නයේ අස්වනු නෙළීම සහ ඉදිරි වගා කටයුතු සඳහා ඉන්ධන හිඟය බාධාවක් කර නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














