කොළඹ වරාය නගරය (Port City) තුළ ආයෝජනය කිරීම සඳහා මේ වන විට අලුතින් ව්‍යාපාර 150කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (මාර්තු 19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රජයේ පවතින දේශපාලන ස්ථාවරභාවය සහ විනිවිදභාවය හේතුවෙන් විදේශීය ආයෝජකයින් මෙරට කෙරෙහි දක්වන උනන්දුව වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කලින් පැවති දූෂිත පාලන ක්‍රමවේදයන් බැහැර කරමින්, ආයෝජන අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, මීට පෙර ආයතන 26කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදු වූ සංකීර්ණ ක්‍රමය වෙනුවට “එකම වහලක් යටින්” (Single Window Counter) සති 6ක් ඇතුළත අවශ්‍ය සියලු අනුමැතියන් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. මෙමගින් වර්ග මීටර් මිලියන 6.3ක දැවැන්ත විදේශ ආයෝජන ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම රජයේ අපේක්ෂාවයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද, මෙරට බෙදාහැරීමේ ජාලයන් බිඳවැටීමට ඉඩ නොතබා කර්මාන්තශාලා 1300කට අවශ්‍ය ඉන්ධන පහසුකම් අඛණ්ඩව ලබාදීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද උසස් ආර්ථික කළමනාකරණ කමිටුව හරහා සෘජු විදේශ ආයෝජන (FDI) සඳහා පවතින බාධාවන් අවම කරමින් රටේ ආර්ථික පරිවර්තනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














