ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ල වීමත් සමඟ යුරෝපයේ ස්වාභාවික වායු (Natural Gas) මිල ඊයේ (මාර්තු 19) දිනයේදී 35%ක් වැනි ඉහළ අගයකින් වර්ධනය වී තිබේ. ලොව විශාලතම ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) මධ්‍යස්ථානය වන කටාර්හි ‘රස් ලෆාන්’ (Ras Laffan) සංකීර්ණයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරය මීට ප්‍රධානතම හේතුව වී ඇත.
ඊශ්‍රායලය විසින් ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) වායු නිධිවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු දිනම ඉරානය විසින් කටාර්හි මෙම මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කර තිබේ. රස් ලෆාන් සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයෙන් එහි LNG නිෂ්පාදන ඒකක (Trains) දෙකකට දැඩි හානි සිදුව ඇති අතර, එමගින් කටාර් රාජ්‍යයේ වායු අපනයන ධාරිතාව ඉදිරි වසර 3ත් 5ත් අතර කාලය තුළ 17%කින් පමණ පහත වැටෙනු ඇතැයි ගණන් බලා තිබේ.
බලශක්ති විශ්ලේෂකයන් පවසන පරිදි මෙය ලෝක බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන අතිශය බරපතල තත්ත්වයක් (Doomsday Scenario) වන අතර, සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කිරීමට වසර කිහිපයක් ගත වනු ඇත. මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලයේදී ලොව පුරා බලශක්ති හිඟයක් සහ මිල ගණන් තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකිය.














