මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දිය නෑමට ගිය කුඩා දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමෙන් මියගොස් ඇති බව මරදන්කඩවල පොලිසිය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත සිදුවීම ඊයේ (මාර්තු 19) දහවල් කාලයේදී සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ ගනේවල්පොල ප්රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියකි.
අදාළ දැරිය සිය මිත්තණිය සමඟ හිනුක්කිරියාව වැවේ දිය නාමින් සිටියදී මෙම අනපේක්ෂිත කිඹුල් ප්රහාරයට ලක්ව තිබේ. දැරිය කිඹුලා විසින් ඩැහැගෙන යාමත් සමඟ ප්රදේශවාසීන්, පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව වහාම සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. පිරිස වැව පරීක්ෂා කිරීමේදී කිඹුලා විසින් දැරිය අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, දැරිය වහාම මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම සිදුවීමත් සමඟ ප්රදේශයේ ජනතාව දැඩි කම්පනයට පත්ව සිටින අතර වැව් ආශ්රිතව ගැවසීමේදී වඩාත් අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














