ලොව සුප්‍රකට සටන් කලා සහ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට නළුවෙකු වන චක් නොරිස් මහතා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හවායි හි රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 86 හැවිරිදි වියේ පසුවන ඔහු හවායි හි කවායි (Kauai) දූපතේ රැඳී සිටියදී මෙම හදිසි තත්ත්වය ඇති වී තිබේ.
TMZ පුවත් සේවයට අනුව, ඔහු රෝහල්ගත කිරීමට හේතු වූ නිශ්චිත රෝගී තත්ත්වය මෙතෙක් හෙළි කර නොමැත. කෙසේ වෙතත්, ඔහු මේ වන විට යහපත් මානසිකත්වයකින් පසුවන බවත් වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය යටතේ පසුවන බවත් ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි. පසුගිය මාර්තු 10 වන දින සිය 86 වන උපන්දිනය සැමරූ චක් නොරිස්, එදින බොක්සිං පුහුණුවීම්වල නිරත වන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.
“මම වයසට යන්නේ නැහැ, මම මට්ටමෙන් ඉහළට යනවා (I level up)” යනුවෙන් සිය උපන්දිනය දා ඔහු පවසා තිබුණේ ඉතාමත් ක්‍රියාශීලී සහ නිරෝගී පෙනුමකින් යුක්තවය. එම සිදුවීමෙන් දින කිහිපයකට පසු මෙලෙස ඔහු රෝහල්ගත වීම ලොව පුරා සිටින ඔහුගේ රසිකයන් මහත් කනස්සල්ලට පත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහුට අවශ්‍ය සියලුම පහසුකම් සලසා ඇති බවයි.














