ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද මෙහෙයුම් සඳහා ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයෙන් ඩොලර් බිලියන 200ක දැවැන්ත අතිරේක ප්‍රතිපාදනයක් ලබා දෙන ලෙස පෙන්ටගනය (Pentagon) ඉල්ලීමක් කර තිබේ. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මහතා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු හමුදාවන් සැලසුම් කළ කාලයට වඩා වේගයෙන් යුද්ධයේ ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින බවයි.
මෙම ඩොලර් බිලියන 200ක මුදල 2020 වසරේ කොවිඩ් සහන පැකේජයෙන් පසු ඇමෙරිකාව ඉල්ලා ඇති විශාලතම අතිරේක ප්‍රතිපාදනය ලෙස සැලකේ. යුක්රේනය සඳහා ලබා දුන් ඩොලර් බිලියන 65ක ආධාර මුදලට වඩා මෙය ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එයින් ඉඟි කරන්නේ ඉරානය සමඟ දීර්ඝකාලීන යුද මෙහෙයුමක් සඳහා ඇමෙරිකානු පරිපාලනය සූදානම් වන බවයි. “නරක මිනිසුන් විනාශ කිරීමට මුදල් අවශ්‍යයි” යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා මාධ්‍ය හමුවේදී පවසා තිබේ.
මෙම දැවැන්ත මූල්‍ය ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, කොන්ග්‍රස් මණ්ඩලයේ නියෝජනය වන ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ මූල්‍යමය වශයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් මේ සඳහා දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය වාර්තා කරන්නේ මෙම යෝජනාව මේ වන විටත් සමාලෝචනය සඳහා ධවල මන්දිරය වෙත යොමු කර ඇති බවයි.














