ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති දැවැන්ත යුද ප්‍රහාර හමුවේ ඉරාන දේශපාලන නායකත්වයේ ප්‍රබලතම චරිතයක් ලෙස පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් මේ වන විට කරළියට පැමිණ තිබේ. හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමෙන් පසු ඉරානයේ දේශපාලන, ආරක්ෂක සහ ආගමික ප්‍රභූන් සම්බන්ධ කරන ප්‍රධාන පුරුක ලෙස ඔහු ක්‍රියා කරයි.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ හිටපු අණදෙන නිලධාරියෙකු මෙන්ම ටෙහෙරාන් නුවර හිටපු නගරාධිපතිවරයා ද වන ගලිබාෆ්, වත්මන් උත්තරීතර නායකයා ලෙස පත් වූ මොජ්තාබා කමේනිගේ (Mojtaba Khamenei) සමීපතමයෙකු ලෙස සැලකේ. සිය නායකත්වය ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර හමුවේ ඔහු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත දැඩි ලෙස පලිගන්නා බවට ප්‍රතිඥා දී තිබේ.
අයතුල්ලා කමේනිගේ ඝාතනයෙන් පසු ඔහු ප්‍රකාශ කළේ, “ඔබ දෙදෙනාට (ට්‍රම්ප් සහ නෙතන්යාහුට) සමාව අයැදීමට සිදුවන තරමේ විනාශකාරී පහරක් අපි එල්ල කරනවා” යනුවෙනි. රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කරන්නේ ඉරානයේ ප්‍රමුඛ පෙළේ නායකයන් රැසක් ඝාතනය වී ඇති පසුබිමක, ගලිබාෆ් වැනි අත්දැකීම් බහුල හමුදා පසුබිමක් සහිත නායකයෙකු පෙරමුණට පැමිණීම යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බවයි.















