කුවේට් රජයට අයත් කුවේට් ඛනිජ තෙල් සංස්ථාව (KPC) ප්‍රකාශ කරන පරිදි, එරට පිහිටි ප්‍රධානතම පිරිපහදුවක් වන මිනා අල්-අහ්මදි (Mina Al-Ahmadi) පිරිපහදුවට අද (20) අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් හේතුවෙන් එහි ඒකක කිහිපයක ගින්නක් හටගෙන තිබේ. කුවේට් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරවලින් මෙතෙක් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවයි.
ප්‍රහාරයත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන ඒකක ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර, සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස පිරිපහදුවේ මෙහෙයුම් ඒකක කිහිපයක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත. මැදපෙරදිග කලාපය පුරා බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාරවල වර්ධනයක් ලෙස මෙම සිදුවීම සැළකේ.
මැදපෙරදිග කලාපයේ විශාලතම පිරිපහදුවක් වන මිනා අල්-අහ්මදි පිරිපහදුවට එල්ල වූ මෙම ප්‍රහාරය ගෝලීය තෙල් සැපයුමට තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරානය සහ ඉශ්‍රායලය අතර පවතින යුධමය තත්ත්වය හමුවේ අසල්වැසි අරාබි රටවල බලශක්ති යටිතල පහසුකම් මෙලෙස ඉලක්ක වීම ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාමට හේතු විය හැකිය.















