ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ බටහිර ආසියාවේ (මැදපෙරදිග) බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දැඩි ලෙස හෙළා දකී. කලාපයේ සාමය සහ ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්වල (Diplomacy) අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කළේය.
අග්‍රාමාත්‍යවරයා ඊයේ (මාර්තු 19) ප්‍රංශය, කටාර්, ජෝර්දානය, ඕමානය සහ මැලේසියාව යන රටවල නායකයන් සමඟ වෙන් වෙන් වශයෙන් දුරකථන සාකච්ඡාවල නිරත විය. මෙම සාකච්ඡාවලදී ඔහු ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන ජාත්‍යන්තර නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ බලශක්ති සැපයුම් දාමයන්ට එල්ල වන බාධා ඉවත් කිරීම පිළිබඳවයි.
බලශක්ති මධ්‍යස්ථානවලට පහර දීම මගින් ලෝක ආර්ථිකයට එල්ල වන දැඩි බලපෑම පිළිබඳව සිය කනස්සල්ල පළ කළ මෝදි මහතා, යුද්ධය වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බවයි.














