අද (20) පාර්ලිමේන්තු සභාවාරය අතරතුර අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අතර ඇති වූ දැඩි වාග් සංවාදයක් හේතුවෙන් සභාව තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීම සඳහා අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඉල්ලා සිටීම මෙම තත්ත්වයට මුල් විය.
අමාත්‍යවරයාගේ එම ඉල්ලීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරයා අදහස් දැක්වූ අවස්ථාවේදී, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා වෙත සිය මැද ඇඟිල්ල දිගු කරමින් අශෝභන සංඥාවක් සිදු කිරීමත් සමඟ සභාවේ උණුසුම තවත් ඉහළ ගියේය. මෙහිදී මන්ත්‍රීවරයා විසින් මතු කරන ලද රීති ප්‍රශ්නය (Point of Order) ප්‍රතික්ෂේප කිරීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා පියවර ගත්තේය.
සභාවේ ගෞරවය ආරක්ෂා කරමින් මන්ත්‍රීවරුන් විනයානුකූලව හැසිරිය යුතු බව කථානායකවරයා මෙහිදී අවධාරණය කළ අතර, මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන් හැසිරීම් මැද සභාවේ කටයුතු පවත්වාගෙන යාමට ඔහු උත්සාහ කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ රටේ ආර්ථිකය පිළිබඳව වැදගත් කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ මොහොතක ජනතා නියෝජිතයන්ගේ මෙවැනි හැසිරීම් පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සිය කනස්සල්ල පළ කර සිටියහ.














