2024 නොවැම්බර් 1 වනදා අලුයම වැන්කුවර් නුවර නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී 31 හැවිරිදි තෙදරු මවක වන කෝට්නි වැලෙන්සියා ක්ලින්ටන්ගේ (Courtney Valencia Clinton) සිරුර හමුවූ අතර, ඇයගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා තිබුණි. ඒ වන විටත් ඇයගේ කුඩාම බිළිඳා රථයේ පසුපස අසුනේ කිසිදු හානියක් නොවී හඬමින් සිටියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. මාස හයකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනවලින් පසු, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස ඩේරියල් නූනෙස්-මොන්ටෙරෝ (Dariel Nunez-Montero) නැමැත්තා හඳුනා ගැනීමට ඇමරිකානු ආරක්ෂක අංශ සමත්ව තිබේ.
ඝාතනය සිදුවූ දිනට පෙර දින, එනම් ඔක්තෝබර් 29 වනදා සැකකරු පදිංචිව සිටි මහල් නිවාසයෙන් කෝට්නි බිළිඳා ද වඩාගෙන ඔහු සමඟ පිටව යන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණි. ඇය අවසන් වරට සිය මිතුරියකට සිය පිහිටීම (Location) යවා තිබුණේ ද සැකකරුගේ නිවස අසල සිටියදීය. මෝටර් රථයේ දොරෙහි තිබී සැකකරුගේ DNA සාම්පල හමුවීම ඔහුට එරෙහිව ඇති ප්‍රධාන සාක්ෂියක් බව විමර්ශකයෝ පවසති.
කෙසේ වෙතත්, මෙම සැකකරු ඝාතනයෙන් පසු කෙන්ටකි (Kentucky) ප්‍රාන්තයට පලා ගොස් තිබූ අතර, එහිදී ඔහු මහා පරිමාණ ඩීසල් සොරකමකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක් මෙහෙයවීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිරගත කර සිටියේය. කෙන්ටකි ප්‍රාන්තයේ ඔහුට එරෙහිව තිබූ නඩු කටයුතු මේ වන විට අවසන් වී ඇති බැවින්, ඔහුව පළමු පෙළ මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පැවරීම සඳහා වොෂින්ටන් ප්‍රාන්තය වෙත පිටුවහල් කිරීමට අධිකරණය නියම කර ඇත.
කෝට්නිගේ ඥාතීන් පවසන්නේ ඇය ඉතා කරුණාවන්ත සහ අන් අයට උදව් කරන තැනැත්තියක වූ බවයි. සැකකරු අත්අඩංගුවට ගත්තද ඇයගේ අහිමි වීම පියවිය නොහැකි බවත්, ඇයගේ දරුවන්ට මවකගේ සෙනෙහස අහිමි කළ ඝාතකයාට උපරිම දඬුවම් ලැබෙන තෙක් තමන් බලා සිටින බවත් ඔවුහු පවසති. මෙම පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














