ඉරානයේ දකුණු පාර්ස් (South Pars) ගෑස් නිසීදිතය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් කලාපීය බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීමට තම රට සතු යුද ශක්තියෙන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් භාවිතා කළ බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි. ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත නැවතත් ප්‍රහාර එල්ල වුවහොත් කිසිදු පාලනයකින් තොරව දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඔහු අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.
මේ අතර කටාර් රාජ්‍යයේ වඩාත්ම වැදගත් වායු පද්ධතිය වන රාස් ලෆාන් (Ras Laffan) මධ්‍යස්ථානය වෙත ඉරානය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් කටාර්හි ද්‍රව ස්වභාවික වායු (LNG) අපනයන ධාරිතාව 17%කින් පමණ පහත වැටෙනු ඇතැයි ගණන් බලා ඇත. මෙය යුරෝපය සහ ආසියාව ඇතුළු ලෝක වෙළඳපොළේ වායු සැපයුමට විශාල බලපෑමක් එල්ල කරනු ඇති අතර ගෝලීය බලශක්ති වෙළඳපොළේ පුරෝකථනයන් ද සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වී තිබේ. කුවේට්හි මීනා අල්-අහ්මදි පිරිපහදුවට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති පසුබිමක මෙම තත්ත්වය ලෝක බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් වී ඇත.
















