යුද සමයේදී මෙරටින් බැහැරව තමිල්නාඩුවේ සරණාගතයන් ලෙස වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් යළි භාර ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ඉන්දීය රජය හෝ තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙම සරණාගත ප්‍රශ්නය මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන ප්‍රචාරණ මෙවලමක් ලෙස භාවිතා නොකළ යුතු බවයි.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කළ ලිපියක් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දශක හතරකට වැඩි කාලයක් ඉන්දියාවේ ජීවත් වන, එහි උපන් හෝ ඉන්දියානුවන් සමඟ විවාහ වී සිටින පිරිස් ඉන්දීය පුරවැසිභාවය අපේක්ෂා කරන්නේ නම් එය ඔවුන්ගේ අයිතියක් බවත් රජය ඊට බාධා නොකරන බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, 2009 සිට 2025 දක්වා කාලය තුළ පුද්ගලයන් 18,542ක් යළි මෙරටට පැමිණ ඇති අතර, වලංගු විදේශ ගමන් බලපත්‍ර නොමැතිව යළි පැමිණෙන සරණාගතයන් අත්අඩංගුවට නොගන්නා ලෙස ආගමන විගමන අංශවලට සහ පොලිසියට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














