පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඉරාන යුද ගැටුම් හේතුවෙන් බොරතෙල් සහ ස්වභාවික වායු මිල ඉහළ යාම පිළිබඳව ලෝක අවධානය යොමු වුවද, මේ වන විට ගෝලීය සැපයුම් ජාලය තුළ තවත් බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. ඒ ස්මාර්ට් දුරකථන සහ විද්‍යුත් වාහන ඇතුළු නවීන උපකරණ රැසක් ක්‍රියා කරවීමට අවශ්‍ය අර්ධ සන්නායක හෙවත් කුඩා චිප්ස් (Chips) නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන හීලියම් වායුවේ දැඩි හිඟයක් ඇති වීමයි. මෙම හිඟය දිගුකාලීන වුවහොත් උසස් තාක්ෂණික උපාංග නිෂ්පාදනය අඩාල වීමටත්, දත්ත මධ්‍යස්ථාන ව්‍යාපෘති සීමා කිරීමටත් සිදු වනු ඇති බවට ආර්ථික සහ තාක්ෂණික විශේෂඥයෝ අනතුරු අඟවති.
හීලියම් යනු වර්ණයක් හෝ ගන්ධයක් නොමැති විශ්වයේ පවතින දෙවන සැහැල්ලුම මූලද්‍රව්‍යය වන අතර එහි පවතින සුවිශේෂී ගුණාංග නිසා චිප් නිෂ්පාදනයේදී එයට විකල්පයක් සොයා ගැනීම ඉතා අපහසු වී තිබේ. අර්ධ සන්නායක නිපදවන පිරිසිදු කාමර (Clean rooms) තුළ අතිශය පිරිසිදු සහ අධික ශීතල පරිසරයක් පවත්වා ගැනීමටත්, නිෂ්පාදන ක්‍රියාවලියේදී තාපය හුවමාරු කිරීමටත් මෙම අතිශය පිරිසිදු හීලියම් වායුව අත්‍යවශ්‍ය වේ. මීට අමතරව MRI ස්කෑන් යන්ත්‍ර, ඔප්ටිකල් ෆයිබර් නිෂ්පාදනය සහ වෙල්ඩින් කටයුතු සඳහා ද හීලියම් භාවිත වන නමුත් වර්තමානයේ මෙම සැපයුම් හිඟය නිසා වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ ලොව ප්‍රමුඛ පෙළේ චිප් නිෂ්පාදන සමාගම්ය. හීලියම් උපදේශක ෆිල් කෝර්න්බ්ලුත් පෙන්වා දෙන්නේ හීලියම් අනෙකුත් වායූන්ට වඩා මිල අධික වුවද බොහෝ තාක්ෂණික නිෂ්පාදන සඳහා එය අත්‍යවශ්‍යම අමුද්‍රව්‍යයක් වී ඇති බැවින්, මෙම සැපයුම් අවහිරතාවය සමස්ත ලෝකයේම තාක්ෂණික නිෂ්පාදන වේගය අඩාල කිරීමට සමත් වනු ඇති බවයි.














