ප්‍රංශ නාවික හමුදාවේ තරුණ නිලධාරියෙකු ‘Strava’ නම් පොදු ශාරීරික යෝග්‍යතා යෙදුම (Fitness App) හරහා තම ව්‍යායාම දත්ත වාර්තා කිරීම හේතුවෙන්, මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ ප්‍රංශයේ ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන Charles de Gaulle හි නිශ්චිත පිහිටීම අහඹු ලෙස හෙළි වී තිබේ. ‘Le Monde’ පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම නිලධාරියා නෞකාවේ තට්ටුව මත (Deck) දිවීම මගින් ඔහුගේ ස්මාර්ට් ඔරලෝසුව හරහා දත්ත පටිගත වී ඇති අතර එය පොදු පරිශීලකයන්ට දර්ශනය වී ඇත.
අදාළ නිලධාරියා මිනිත්තු 36ක කාලයක් තුළ කිලෝමීටර් 7කට වඩා වැඩි දුරක් නෞකාවේ තට්ටුව වටා දිව ගොස් ඇති අතර, එම දත්ත මගින් නෞකාව මධ්‍යධරණී මුහුදේ පවතින නිශ්චිත ස්ථානය සිතියම්ගත වී තිබේ. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් මෙම නෞකාව යොදවා ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබුණද, එහි නිශ්චිත පිහිටීම අතිශය රහසිගතව පවත්වා ගැනීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.
මෙම දත්ත හෙළි වීමත් සමඟ ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක අවදානමක් මතුව ඇති අතර, නූතන තාක්ෂණික උපාංග හමුදා මෙහෙයුම්වල රහස්‍යභාවයට එල්ල කරන බලපෑම පිළිබඳව දැඩි සංවාදයක් ඇති වී තිබේ. මීට පෙරද ඇමෙරිකානු හමුදා කඳවුරුවල රහසිගත පිහිටීම් මෙවැනි යෙදුම් හරහා හෙළි වූ අවස්ථා වාර්තා වී ඇති බැවින්, හමුදා නිලධාරීන්ට ස්මාර්ට් උපාංග භාවිතය පිළිබඳව නව උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.














