පවතින ඉන්ධන හිඟය හමුවේ සිය රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ඇති බාධා හේතුවෙන් අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) අනතුරු අඟවයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වත්මන් QR කේත ක්‍රමය කළමනාකරණය සඳහා වැදගත් වුවද, ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස තමන්ට ඉන් දැඩි දුෂ්කරතා මතු වී ඇති බවයි.
දිවයින පුරා සේවය කරන 2,300කට අධික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බෝවන රෝග පාලනය, වෙළඳසැල් පරීක්ෂාව සහ පාසල් සෞඛ්‍ය කටයුතු සඳහා විශාල දුරක් ගමන් කිරීමට සිදු වුවද, ඔවුන්ට මෙතෙක් විශේෂිත ඉන්ධන කෝටාවක් හෝ ප්‍රමුඛතාවක් ලබා දී නොමැත. මේ හේතුවෙන් සාමාන්‍ය පෝලිම්වල රැඳී සිටීමට සිදු වීම නිසා කාලය කළමනාකරණය කරගැනීමට නොහැකි වී ඇති අතර, එය රෝග විමර්ශන සහ වැළැක්වීමේ කටයුතු ප්‍රමාද වීමට බලපා තිබේ. මෙතෙක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ නැතත්, පවතින ඉන්ධන ගැටලුව මත සේවයේ සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් නිලධාරීන්ට දඬුවම් කිරීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද එම සංගමය අවධාරණය කරයි.













