ඇමෙරිකානු – ඉරාන යුද්ධයේ මීළඟ ගමන් මඟ තීරණය කරනු ලබන ප්‍රබල ‘USS Tripoli’ උභයජීවී ප්‍රහාරක නෞකාව ලබන සතියේදී උතුරු අරාබි මුහුදට ඇතුළු වීමට නියමිතය. ටොන් 50,000ක බරින් යුත් මෙම දැවැන්ත නෞකාව සමඟ 31 වන මැරීන් බලකායට අයත් අතිවිශේෂ පුහුණුව ලැබූ නාවික භටයන් 2,000කට අධික පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.
වර්තමාන වාර්තාවලට අනුව USS Tripoli නෞකාව මේ වන විට ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි මුහුදු සීමාවේ ගමන් කරමින් සිටී. එය ඕමාන් බොක්කේ දැනටමත් ස්ථානගත කර ඇති ‘USS Abraham Lincoln’ ගුවන් යානා වාහක නෞකාවේ බලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මාර්තු 22-23 වන විට අරාබි මුහුදට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අඩි 844ක් දිගැති මෙම නෞකාව F-35 ප්‍රහාරක යානා, MV-22 Osprey යානා සහ MH60S Seahawk හෙලිකොප්ටර් යානා රැගෙන එනු ලබයි. මීට අමතරව සතුරු භූමියට සෘජුවම හමුදා භටයන් ගොඩබැස්විය හැකි LSD (Landing Ship Decks) යාත්‍රා ද මෙම නෞකාව සමඟ පැමිණෙමින් තිබේ.
ඉරානය තුළට පාබල හමුදා යැවීම සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මාධ්‍ය විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මේ මොහොතේ එවැනි සැලසුමක් නොමැති වුවද, යුධමය වාතාවරණය වෙනස් වන ආකාරය අනුව තීරණ ගන්නා බවයි. “මම හමුදාව යවනවා නම් ඒක කලින් ඔබට පවසන්නේ නැහැ” යනුවෙන් පවසමින් ඔහු ඉදිරි හමුදාමය ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි රහසිගත භාවයක් පවත්වාගෙන යයි.














