ප්‍රංශ නාවික හමුදාවට අයත් Charles de Gaulle නම් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ රහස්‍ය පිහිටීම, එහි සේවය කළ නිලධාරියෙකුගේ ශාරීරික අභ්‍යාස දත්ත (Workout data) හරහා අන්තර්ජාලයට කාන්දු වී තිබේ. ලොව පුරා ක්‍රීඩකයන් භාවිතා කරන ‘Strava’ ඇප් එක හරහා මෙම තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමඟ, මැදපෙරදිග සහ මධ්‍යධරණී මුහුදේ පවතින යුදමය වාතාවරණය හමුවේ ප්‍රංශයේ ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් මතු වී ඇත.
ප්‍රංශයේ ‘Le Monde’ පුවත්පත වාර්තා කරන අන්දමට, මෙම නාවික නිලධාරියා නෞකාව මත සිට විනාඩි 36ක ශාරීරික අභ්‍යාසයක නිරත වී ඇති අතර ඔහුගේ ස්මාර්ට් ඔරලෝසුව හරහා එම දත්ත Strava ඇප් එකට එක් වී ඇත. එම දත්ත ‘ප්‍රසිද්ධ’ (Public) මට්ටමේ පැවතීම නිසා, නෞකාව ඒ වන විට සයිප්‍රසයට වයඹ දෙසින් තුර්කි වෙරළට ආසන්නව ගමන් කරමින් සිටි බව ඕනෑම අයෙකුට සිතියම්ගතව දැක ගැනීමට හැකි වී තිබේ.
ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ Charles de Gaulle නෞකාව ඉතා රහසිගත මෙහෙයුමක නිරතව සිටියේය. මෙවැනි යුදමය වාතාවරණයකදී නෞකාවක නිශ්චිත පිහිටීම හෙළි වීම සතුරු ප්‍රහාරවලට හෝ ඔත්තු බැලීම්වලට සෘජු ආරාධනයක් බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට පෙර ද ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම්මානුවෙල් මැක්‍රෝන් වැනි නායකයන්ගේ ආරක්ෂක නිලධාරීන් මෙවැනි ඇප් හරහා දත්ත කාන්දු කර තිබූ බව අනාවරණය වී ඇත.
ප්‍රංශ සන්නද්ධ බලකායන් මෙම සිදුවීම තහවුරු කර ඇති අතර, එය හමුදා ඩිජිටල් ආරක්ෂක නීති (Operational Security) උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කර තිබේ. අදාළ නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, ඉදිරියේදී මෙවැනි සංවේදී මෙහෙයුම්වලදී ස්මාර්ට් උපාංග භාවිතය පිළිබඳව දැඩි සීමා පැනවීමට ද අවධානය යොමු වී ඇත.
නූතන යුධ ක්‍රමවේදයන්හිදී කුඩා ඩිජිටල් අත්වැරැද්දක් පවා මහා පරිමාණ විනාශයකට මඟ පෑදිය හැකි බව මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ.














