ඉරානය සහ ඇමෙරිකා-ඊශ්‍රායල පාර්ශවය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ සවුදි අරාබියේ රියාද් නගරයේදී තවත් ඉන්දියානු ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) අද (මාර්තු 20) තහවුරු කළේය. පසුගිය මාර්තු 18 වනදා සිදුවූ මෙම මරණයත් සමඟ, වත්මන් බටහිර ආසියානු අර්බුදය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සමස්ත ඉන්දියානු ජාතිකයන් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් එක් ඉන්දියානු ජාතිකයෙකු අතුරුදන්ව ඇති අතර, ඔහුව සෙවීම සඳහා සවුදි අරාබිය, ඕමානය, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඉන්දීය දූත මණ්ඩල එරට බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින බව අතිරේක ලේකම් අසීම් මහජන් මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර, ඉරාකයේදී ආරක්ෂිතව මුදාගත් ‘MT CGC Vishnu’ තෙල් ප්‍රවාහන නෞකාවේ සේවය කළ ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනා අද දින සවුදි අරාබිය හරහා නැවත ඉන්දියාවට පැමිණීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කළේය. රියාද් නගරය ආශ්‍රිතව පවතින යුදමය තත්ත්වය සහ එල්ල වන ප්‍රහාර හේතුවෙන් එහි වෙසෙන විදේශිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ. මියගිය පුද්ගලයාගේ දේහය හැකි ඉක්මනින් ඉන්දියාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව රියාද් හි ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.














