කුලියාපිටිය මීගහකොටුව හන්දියේදී කාන්තාවක සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරුපැදිකරුවෙකුට හෙල්මට් එකකින් පහරදුන් බවට සීසීටීවී (CCTV) දර්ශන මගින් හඳුනාගෙන අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ මත්ද්‍රව්‍ය පරීක්ෂණයකදී සහ වැඩිදුර විමර්ශනවලදී ඔහුගේ අපරාධ පසුබිම පිළිබඳ තොරතුරු තහවුරු වූ බවයි. සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර මෙම පහරදීමට හේතුව සහ ඔහුගේ වෙනත් අපරාධ සම්බන්ධතා පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














